බබා ලැබුන අළුත දවස ගත වෙන හැටි

අළුත් ජීවිතයක් නිර්මාණය කරන එක හරිම බැරෑරුම් කටයුත්තක්. පළමු වරට මව්පියන් වෙන්න ඉන්න යුවලකට ඒකේ තරම අවබෝධ වෙන්නෙ තම පළමු දරුවා දෝතට ගත් දවසට තමයි. ඊට කලින් මේ වෙන්න යන දේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඒකට පෙර සූදානමක් වුනොත් වඩා සාර්ථක විදිහට ඒ අභියෝගය ජයගන්න ඔබ දෙපළට පුළුවන්.

පසු ප්‍රසව සමය මවට…

ඔබට ඔබවම අමතක වීම…

නිරන්තරයෙන් 100% ඔබේ අවධානය ඉල්ලා සිටින කිසි විටකත් නොසලකා හැරිය නොහැකි නව ජීවයක් දැන් ඔබේ අතේ..සැහැල්ලුවෙන් කිරිල්ලියක් වගේ හිටපු ඔබට මේක ලොකු වගකීමක්..දරුවාගේ තාත්තාත්, අම්මාත් එක්ක හරි හරියට මේ වගකීම බෙදාගන්න එකතු වෙනවානම් ඒක තුන්දෙනාටම ලොකු සැහැල්ලුවක්..


කිරි දීලා ඉවරයක් නෑ…

ඔබේ දවසේ පැය 24න්, පැය 9-12 අතර කාලයක් දරුවාට මව් කිරි දීම සඳහා කැප කරන්න සූදානම් වෙන්න.(දරුවාට මාස 3 සම්පූර්ණ වූ පසු මෙම කාලය ක්‍රමයෙන් අඩු වේ). මව් කිරි දෙන කාලය තුළ ඔබේ පියයුරු රැක බලා ගන්න. පළමු දිනයේ සිටම Supportive Bra එකක් භාවිතා කරන්න.

නිදාගන්නේ කවදාද…

ඔබේ නිදාගැනීමේ කාලසටහන උඩුයටිකුරු කරන්නට දැන්මම හිත හදාගන්න. උපන් අළුත මුල් කාලයේ ළඳරුවෙක් දිනකට පැය 16-20ක් නිදාගන්නා නමුත් ඒ කඩින් කඩ නින්දකි.(දරුවා රාත්‍රී නින්දට පුහුණු කරවීම ක්‍රමක්‍රමයෙන් සිදු කළ හැක) එතෙක් ඔබ නම්‍යශීලී වී උදේ/දවල්/රෑ නොතකා දරුවා නිදන විට නිදන්න පුරුදු වෙන්නට පුළුවන් නම්(Co-Sleeping) නිදාගන්න හම්බවුණේ නෑ කියමින් නිරන්තර මැසිවිලි නගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


මේක නවතින්නේ කවදාද…….

දරුවා ලැබී සති 2-6 යනතුරු ඔසප් වී ඇති දිනවල මෙන් යෝනි මාර්ගයෙන් රුධිරය මිශ්‍ර ස්‍රාවයක්(lochia) පිට වේ.මේ සඳහා පෙර සූදානමක් ලෙස වැඩිපුර සනීපාරක්ෂක තුවා කලින්ම ගෙනත් තබාගන්න.

වේදනාව…

ඔබේ උපත් මාර්ගයේ සිදු කළ කැපුම(එපිසියෝටොමි තුවාලය) / සිසේරියන් කැපුම හෝ ඇතැම් විට තුවාල වුණු තනපුඩු වලින් වරින් වර ඔබට වේදනා ගෙන දිය හැකියි.
පැය 6න් 6ට පැරසිටමෝල් නියමිත මාත්‍රාව ගැනීම බොහෝවිට මේ සඳහා ප්‍රමාණවත්.


මානසික අස්ථාවර බව…

ඔබේ සිරුරේ එකවරම අඩු වී යන හෝමෝන, නින්ද මදිකම, අළුත් වගකීම් මේ සියල්ල නිසා මානසික අස්ථාවර බවක් ඇති වීම සාමාන්‍යයි. මෙය තේරුම්ගෙන අළුත් ජීවිතය හැඩගැසිය හැකිනම් විශාදය (Depression) වැනි මානසික රෝග තත්ව වලින් වැළකීම ඉතා පහසුයි.

සැමියාවත් බලන්න…

සැමියා අමතක කිරීමට දරුවා නිදහසට කාරණාවක් කරගන්න එපා. නිරෝගී දරුවෙකු ගොඩනැගෙන්න ශක්තිමත් අත්තිවාරම ඔබ දෙදෙනාගේ සම්බන්ධයයි.දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු ඔබට අඹු සැමියන් ලෙස හැසිරෙන්නට පුළුවන්. නමුත් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වසරකවත් යනතුරු භාවිතා කිරීම ගොඩාක් වැදගත්.


මට මොනවාද ලැබෙන්නේ…

පළමු සති කිහිපය තුළ ඔබ දරුවා වෙනුවෙන් කරන අසීමිත සේවයට ඔබට ලැබෙන දෙයක් නම් නැත. ඒත්…. සති 4-6 වන විට ඔබේ දරු සිඟිත්තා ඔබව සිනහාවකින් සතුටු කරනු ඇත. ඒ සිනහව දුටු දවසට ඔබේ දහඩිය කඳුළු අපතේ නොගිය බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.

ආයිත් බබෙක්….

සාමාන්‍යයෙන් දරු උපත් 2ක් අතර පරතරය වසරකටවත් වැඩි විය යුතු බව වෛද්‍ය මතයයි. මේ නිසා හොඳ උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම ඔබේ වගකීමක් මෙන්ම, අළුත් කිරිකැටියාට ඔබෙන් විය යුතු යුතුකමක්ද වෙනවා. මේ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ /පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපදෙස් පැතිය හැකියි.


කෑම…

කිරි දෙනවා කියලා දෙන්නෙකුට කන්න අවශ්‍ය නැහැ. මේ ගැන වැඩි විස්තර අපේ පෝෂණය ලිපියේ සඳහන් වෙනවා.

ව්‍යායාම…

දරු ප්‍රසූතියෙන් පසු ඔබේ උදරයේ ඉදිරි බිත්තිය අවලස්සන ස්වරූපයක් ගනු ඇත. මෙයට ප්‍රධානතම හේතුව ගැබිණි සමයේ ඇදී තිබූ සම දරුවා ලැබුනු වහාම ප්‍රකෘති ස්වභාවයට පත් නොවීමය. සම යනු නිරන්තරයෙන් අලුත් වන පටකයකි. (වැඩිහිටියකුගේ දල වශයෙන් සති 3කට වතාවක්). මේ නිසා ඔබගේ කිසිදු සක්‍රිය මැදිහත්වීමකින් තොරවම ඔබේ සම සෑහෙන තරමකින් යථා ස්වභාවයට පත්වනු ඇත. ඇදීම් සලකුණු සහ ඇතැම් තද පැහැ පැල්ලම් නම් 100%ක් නැති නොවේ. නමුත් උදරය ඉදිරියට නෙරා ආ / එල්ලා වැටෙන ස්වරූපයක් පවතී නම් එය අනිවාර්යයෙන්ම නිවැරදි කල හැකි අතර ඒ සදහා සක්‍රිය මැදිහත්වීමක් එනම් ඔබ දිනපතා නිසි ව්‍යායාම වල යෙදීම අවශ්‍යය. (ඔබ ගර්භණි සමයේ අධික රුධිර පීඩනයෙන් පෙලුනි නම් හෝ වෙනත් හෘදයාබාධ හෝ වෙනත් දීර්ඝ කාලීන රෝගාබාධ ඇති කෙනෙක් නම් වයායාම වල යෙදීමට පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.)


පසු ප්‍රසව සමයේ ඔබ සැලකිලිමත් විය යුතු ලක්ෂණ

  • අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිර වහනය හෝ දුගඳ ස්‍රාවයක් පිට වීම.
  • සීසර් තුවාලය /එපිසියෝටොමි තුවාලය පැසවීම
  • උණ
  • මෙම ලක්ෂණ එකක් හෝ පවතී නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

පසු ප්‍රසව සමය පියාට…

දරුවා ගැන ලොකු හැඟීමක් නෑ…?

උපන් අළුත දුටු පමණින් ඔබට මේ චූටි මිනිසාට පණ දෙන්නට තරම් හැඟීමක් ඇති නොවෙන්නට පුළුවන්. ඒකට කමක් නෑ… හැකි සෑමවිටම දරුවා ගැන බලන්න, කතාකරන්න, තුරුළු කරගන්න… දරු සෙනෙහස මායා බෝංචි වැලක් වගේ වැවෙන හැටි ඔබට බලාගන්න පුළුවන්. ඒවගේම තමයි, ඔබේ ආදරණීය බිරිද මවක් වෙන උතුම් මොහොතේ ඇය සමඟ ඉන්න හැකියාවක් තිබේ නම් එය පසුකාලීනව ඔබත් දරුවාත් අතර බැදීමට සුභවාදී ලෙස බලපාන බව කියැවේ.


නින්දක් නෑ, විවේකයක් නෑ…

අම්මාට වගේම තාත්තාටත් බබා රෑට ඇහැරිලා අඬන වේලාවට නින්දට බාධා වෙනවා. අම්මා නම් දවල්ට හරි නිදාගනී, ඒත් තාත්තා…???? වර්ථමානයේ බොහෝ තාත්තාලා නින්දට වෙන බාධා නොසලකා අළුත් බබායි අම්මායි ඉන්න කාමරේම ඉන්න කැමති වුණත්, තාමත් සමහර තාත්තා කෙනෙක් නොයෙකුත් හේතු කියාගනිමින් වෙනත් කාමරේකට මාරු වීම නම් අනුමත කරන්න බෑ. අළුත් සාමාජිකයෙක් පවුලට එකතු වුණ මුල්ම සති කිහිපය තාත්තාගේ ශක්තිය පවුලට අත්‍යාවශ්‍යම කාලයක් කියලයි අපිට හිතෙන්නෙ.

හිතට ලොකු බරක්…

දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්, ඒ වගේම දැන් වියදමත් වැඩියි.
දැන් ඉතින් වැඩිපුර හම්බකරන්නත් ඕනේ…. මේවා හැම තාත්තෙකුගෙම හිතේ දැවෙන ප්‍රශ්න..සල්ලි ඕනේ තමයි..හැබැයි දරුවාගේ පැත්තෙන් බැලුවොත් සල්ලි වලට වඩා තාත්තාව ඕනේ කියන එක අමතක වෙන්න අරින්න එපා.


ආයි කවදාවත් නම් පවුල් ජීවිතයක් නම් නෑ…

ඔබේ බිරිද දැන් තවදුරටත් ඔබේ නෙමෙයි. දැන් බබාත් එක්ක හවුලේ බෙදාගන්න වෙලා…රණහංස යුවල අළුත් බබාටම සින්නක්කර වෙලා.. පවුල් ජීවිතයක් තියා අල්ලන්නවත් වෙලාවක් කොහෙන්ද…. ඔබේ බිරිද යළිත් ඔබ වෙනුවෙන් කයින් වගේම මනසින් සූදානම් වෙනකම් ඔබට ඉවසන්න පුළුවන් නම් ඔබ ජීවිතේ දිනුම්…


පසු ප්‍රසව සමය සහ ගෙදර දොර උදව්වට එන අය….

ලංකාවේ අළුත් දරුවෙක් ලැබුණු පවුල් 90% කටත් වඩා කවුරුහරි උදව්වට කෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉන්නවාමයි. ලැබෙන උදව් කළමණාකරණය ගැන වචනයක් කියන්න කලින් පොඩි මතක් කිරීමක් කළ යුතුයි. ඔබේ මව්පියන් / නැන්දා මාමා / සහෝදරියන් හෝ දරුවෙක් ලැබුණු ඔබට උදව් කළ යුතු යැයි නීතියක් හෝ රීතියක් නැහැ. ඒ නිසා ඔබේම මව වුණත් ඒ සඳහා ඉදිරිපත් වුවහොත් ඊට කෘතඥතාව දැක්වීමට අමතක කරන්න එපා. අළුත උපන් දරුවා සුවඳින් හා කටහඬින් හඳුනා ගන්නේ අම්මාවත් තාත්තාවත් පමණයි. ඒ නිසා දරුවාගේ රැකවරණය 100% මව පියා අතින් සිදු වීම දරුවාට කළ හැකි උපරිමයයි.

එතකොට උදව්වට ඉන්න අය…?

  • ගෙදර උයන පිහන වැඩ
  • බබා බලන්න එන අමුත්තන්ට සංග්‍රහ කිරීම
  • රෙදි සේදීම, වේලීම, රෙදි මැදීම
  • ගෙදර දොර අතුගෑම, අස්පස් කිරීම
  • ගෙදරට එදිනෙදා අවශ්‍ය බඩු ගෙන ඒම

මේ වගේ ගෙදර දොර එදිනෙදා කළ යුතු කටයුතු වලින් බබාගේ අම්මාවයි තාත්තාවයි මාස දෙක තුනකටවත් නිදහස් කරලා දෙන එක තමයි උදව්වට එන කෙනෙකුගෙන් විය යුතු මහඟු සේවය.

දැන් පසු ප්‍රසව සමය මොනවගේ එකක් වෙයිද කියල පුංචි හරි අදහසක් ඔබට ඇති. ඉතින් මේ අභියෝගාත්මක කාලයට මනසින් වගේම භොතික දේවල් වලිනුත් පෙර සූදානමක් වීම වැදගත්. ඒ නිසා මේ පහත දැක්වෙන දේවල් බබා ලැබෙන්න කලින්ම ගෙනත් තියාගත්තොත් හැමෝටම පහසුවක් වෙවි.

Cot එක

  • අළුත උපන් ළදරුවෙකු 24″ x 7″ මෙට්ටයක් මත ඉන්න කෙනෙක් බව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැහැ.
    අළුත් බබාට එයාගේම තැනක් ලෑස්ති කරල තියෙනවානම් තමයි ගොඩාක් හොඳ. ඒ Cot එක වර්ණවත් සෙල්ලම් බඩු, කොට්ට උර වලින් හැඩ ගන්වලා තියන්න පුළුවන්නම් ඒක බබාගේ මොළේ වර්ධනයට උදව්වක්..

Nappy 20-30ක්

  • නැපි ප්‍රමාණ දෙකකින් අවශ්‍යයි..
    කුඩා නැපි – 18″ x 18″
    ලොකු නැපි – 20″ x 20″
  • කුඩා නැපි 10 -15 ප්‍රමාණවත්. මොකද සාමාන්ය තරමේ දරුවෙකුට මාස 1- 1 1/2 පසු මේවා මදි වෙනවා.

බබා ඔතන රෙදි 3-5

  • 30″ x 30″ප්‍රමාණයේ පැනල් හෝ වෙනත් වඩා තුනී නොවන (බබා උණුසුම්ව තැබිය හැකි) රෙදි. ඉතා උණුසුම් දෙශගුණයක වුනත් බබා නෑවූ පසු ඔතා තැබීමට මේවා අවශ්‍ය වේ.

බබාව තියන්න එලන රෙදි

  • බබාව තියන්න Makintosh එකට උඩින් එලීමට 24″ x 24″ ප්‍රමාණයෙන් එලන රෙදි. බබා මූතා මලපහ කරන වාරයක් ගානේ මේවා මාරු කරන්නට වන නිසා එලන රෙදි 10ක්-20ක් වත් අවශය වේ.

බබා පිසදමන රෙදි

  • 36″ x 36″ ප්‍රමාණයෙන් රෙදි 2-3 ක් ප්‍රමාණවත්. ( තුවායට විකල්පයක් ලෙස)

බබාට ගවුම්, මේස්, තොප්පි

  • ඔබ ඉන්න ප්‍රදේශයේ දේශගුණය අනුව මේව අවශ්‍ය වෙන තරම වෙනස් වෙනවා.
    උදා : සීත පළාතක නම් වැඩිපුර ප්‍රමාණයක් සහ අමතරව Panel suit එකක්.
    රස්නේ පළාතක වුණත් අළුත උපන් බබෙක්ව හොඳින් ආවරණය කර තබන්න ඕනෙ, ඒ බබා ගර්භාශයෙන් පිටත පරිසරයට හැඩ ගැහෙනකම්…

බබාව පිරිසිදු කිරීම සඳහා wet tissue / cotton wool / නැවත නැවත භාවිතා කළ හැකි කපු රෙදි කැබලි

  • බබා කක්කා / චූ දැමූ අවස්ථා වල පිරිසිදු කිරීමට wet tissue තිබීම ඉතා පහසුවක්. නමුත් මේවා ටිකක් මිල අධිකයි.බොහෝ මව්වරුන් මේ වෙනුවට භාවිතා කරන විකල්පය තමයි “පුළුන් බෝල” මද රස්නේ වතුරෙන් පොඟවා පිසදැමීම. කුඩා සිනිඳු කපු රෙදි කැබලි, ලේන්සු මේ සඳහා භාවිතා කල හැකියි. Toilet Papers ද ගෙනැවිත් තබා ගැනීම ප්‍රයෝජනවත්.

Baby soap, Cream, Powder

  • පුයර සහ කොලෝන් භාවිතය වර්ථමානයේ මතවාදයට තුඩු දෙන මාතෘකා වී ඇත. සබන් සහ ක්‍රීම් මුල් දින සිටම භාවිතා කළහැකි වුණත් ඒවා සුළු වශයෙන් පටන් ගෙන පසුව ක්‍රමයෙන් වැඩි කිරීම නුවණට හුරුයි.

අම්මාට Feeding Braziers, සැහැල්ලු ඇඳුම්, සනීපාරක්ෂක තුවා

  • මේවා කලින්ම ගෙනැත් තබාගැනීම පහසුවකි. අම්මා මාස 3-6 කට ගෙදරටම සීමා වෙන නිසා කියවීමට කැමති පොත් කිහිපයක්/ බලන්නට කැමති චිතපට එකතුවක් / අහන්නට කැමති සංගීත තැටි කලින්ම ගෙනැත් තබාගන්නට පුලුවන්.

Baby carriers, Play pen, Pram, Feeding chair

  • මුල් සති 6 තුල අවශ්‍ය වන්නේම නැහැ. ඒ නිසා මේවා බබා ලැබෙන්න කලින්ම ගෙනත් තියා ගත යුතු නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *